ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ටිකට් මුදල් වංචා කරන කොන්දොස්තර මහතුන් පිළිබඳ සොයා බලා රාජ්‍ය මුදල් වංචා කිරීම යටතේ දඬුවම් ලබා දියයුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මෙවැනි වංචාකාරී කොන්දොස්තර මහතුන් නිසා වාර්ෂිකව ලංගමයට විශාල මුදලක් අහිමි වන බවත්,ඔවුන්ට දඬුවම් කිරීම සඳහා නව නිතීරීති සකස් කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත්වී තිබෙන බැවින් එම ලාභයෙන් සියලු ලංගම රියදුරු කොන්දොස්තර මහතුන් සඳහා නිල ඇඳුමක් ලබාදෙන ලෙසට තමන් යෝජනා කරන බවත්, මේ වසරේ අවසානය වනවිට සියලුම ලංගම බස්රථවලට ජීපීඑස්උපකරණ සවිකර අවසන් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ අද (16දා) පෙරවරුවේපැවැති SLTBEXPRESS නවීන තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමේ උත්සවයේදීනිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම දුරකථන හා පරිගණක ඔස්සේ SLTB ExpressApp (යෙදුම) භාවිත කරමින් ඕනෑම අයෙකුට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළින් ආරම්භ වන දුර ගමන් සේවා බස් රථවල කැමති ආසනයක් වෙන් කරගැනීමට හැකියාව ලැබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම ආසන වෙන් කරගැනීමේදී ගමනට අදාළ ගාස්තුවට අමතරව රුපියල් 80ක වැඩිපුර මුදලක් මගියාට ගෙවීමට සිදුවන බවත්, මෙහි දෙවැනි අදියර යටතේ කොළඹින් පිට ප්‍රධාන නගර අතර ගමන්ගන්නා දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කිරීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
